Saturday, 22 June 2019

ශ්‍රී ලංකාවේ පාරම්පරික කලාශිල්පයන්හි පසුබිම 01


     අතීත වංශ කතාවලින්  හා පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර මගින් මෙන්ම දේශාටන වාර්තා වලින්ද අතීත ශ්‍රී ලංකාවේ කලාශිල්පයන්හි පසුබිම අනාවරණය කර ගැනීමට පාදක කරගත හැකි මුලාශ්‍රයන්ය.
අනුරාධපුරයෙහි පිහිටුවන ලද මහා බෝධිය පිළිබඳ ඉතිහාසය, පාලි හා සිංහල වංශකතා කිහිපයකම ඇතුළත් වෙයි. ඒ අතුරින් දීපවංශය හා මහාවංශය යන පාලි වංශ කථා ද්වයයෙහි මේ ඉතිහාසය දක්වා ඇත්තේ සංක්ෂේපයෙනි. පාලි මහා බෝධි වංශය හා සිංහල බෝධි වංශය යන ග්‍රන්ථ ද්වයය මේ ඉතිහාසය වඩාත් සවිස්තර ලෙස ඉදිරිපත් කරයි.

මේ මුලාශ්‍රයන් අතුරින්ද පැරණිතම මුලාශ්‍රය වශයෙන් ගැනෙන්නේ ක්‍රි.වයෙන් සතරවන සියවසෙහි රචිත යැයි සැලකෙන දීපවංශයයි. මහාවංශය පස්වන සියවසට ද සිංහල බෝධි වංශය දාහතරවන සියවසටද අයත් සේ සැලකේ.
දැනට අප අතට පත්ව ඇති පැරණිතම මුලාශ්‍රය වන දීපවංශය රචනාකොට ඇත්තේ මහා බෝධි ප්‍රතිෂ්ඨාපනයෙන් ශත වර්ෂ හතකට පමණ පසුව ය. එබැවින් එහි ඇතුළත්වන  සමහර තොරතුරු සියවස් හතක පමණ කාලයක් තිස්සේ මුඛපරම්පරාගතව ආ ජනශ්‍රැති මුල් කොට ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එසේම දීපවංශයට පෙරාතු අවදියෙහි ලියන ලද එහෙත් අද අප අතට පත්වී නැති යම්  යම් වංශ කථා ද දීපවංශයට මුලාශ්‍රය වුවා නිසැකය.

මේ වංශ කථා හැම එකකම පාහේ සඳහන් වන  එක් කරුණක් නම් මහාබෝධිය ආරක්ෂා කිරීම පිණිස එක්තරා පිරිවරක්ද බෝධිවෘක්ෂය සමගම ලක්දිවට එවන ලද බවයි. මේ පිරිවර පිළිබඳ කෙටි සඳහනක් දීපවංශ හා මහාවංශ යන දෙක්හි ද දීර්ඝ විස්තරයක් බෝධි වංශ  හා ගැටපදවල ද එයි.
මහාවංශය ඉංග්‍රීසියට නගන විල්හෙල්ම් ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා “කුලානි”  යන පදය විවරණය කොට ඇත්තේ “පුද්ගලයන් හෝ තැනැත්තන්” යනුවෙනි. “කුල යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ කිසියම් පන්තියකට හෝ ශිල්පී කුලයකට අයත් පුද්ගලයාය.” යනුවෙන් ඔහු පවසයි.  අටළොස් කුලය පහත පරිදි වේ. එහි පාලි නාමයද ඊට අනුරුප සිංහල නාමය ද බෝධි වංශ ගැටපදකරුවා  මෙසේ දක්වා ඇත.
1. තරච්ච ,සරස්
2. කුලිංග,කිලිඟු
3. කප්ප ,කපු
4. බලත්ථ, බලත්
5. පෙසකාර,පෙහෙර
6. කුම්භකාර, කුඹල්
7. මාලාකාර, මල්කරු
8. ගන්ධකාර,ඔසදවටු
9. සිබ්බකාර,තුනා
10. සුද , භක්තකාර
11. කම්මාර,කඹුරු
12. ලෝහකාර, ලෝකරු
13. සුවන්නකාර, තරගල්
14. වඩ්ඪකී,වඩු
15. චිත්තාකාර, සිත්කරු
16. ආතොවජ්ජක, ගඳවි
17. ඡත්තකාර, සත්කරු
18. උය්‍යානපාල, උයන්පලු.
මෙම අටළොස් කුලයෙහි 12 වැනි කුලයෙන් පෙන්වාදෙන්නේ ලෝහකාර හෙවත් ලෝකුරු කුලයයි. ලෝහකාර හෙවත් ලෝකුරු කුලයට පැවරුනේ මහා බෝධිය උදෙසා පැවැත්වෙන “මහබෝ මගුලට” වූවමනා රන් රිදී කැටපත් ආදිය සකස් කොට දීමේ කාරියයි. ඔවුන්ගේ කුල දෙටුවා හට “ලෝහකාර නායක” හෙවත් “ලෝකුරු නා” තනතුර ප්‍රධානය කරන ලදී.

Thursday, 20 June 2019

   පසුබිම  


මානව ශිෂ්ටාචාරයේ ආරම්භයත් සමඟ සීමිත අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ආදි මානවයෝ පෙළඹුණහ.දඩයම් යුගය,ගල් යුගය,එඩේර යුගය,ගොවි යුගය යනුවෙන් මානව ශිෂ්ටාචාරයේ යුග විකාශනය වෙමින් සීමිත අවශ්‍යතා ක්‍රමයෙන් සංකීර්ණ වූ සමාජ රටාවක් ගංඟා නිම්න ශිෂ්ටාචාර ආශ්‍රිතව බිහිවිය.මිනිසාගේ දෛනික අවශ්‍යතා සපුරාගනු වස් විවිධ යුග වලදී මිනිසා විසින් විවිධ ආයුධ උපකරණ සොබාදහම ඇසුරෙන් මූලිකව සකස් කර ගන්නා ලදී.මෙම ප්‍රාථමික ආයුධ,උපකරන නුතන ශිල්පීන්හි ප්‍රාථමික අවශ්‍යතාව වශයෙන් පර්යේෂකයෝ පෙන්වා දෙති.ලොව විවිධ රට වලින් ඒ ඒ යුග වලදී මිනිසා භාවිතා කරන ලද ප්‍රාථමික ආයුධ උපකරණ කැණීම් මඟින් සොයා ගෙන තිබේ. පාරම්පරික කලා ශිල්පයන්හි ප්‍රභවය ලොව ඕනැම රටක මෙලෙස විකාශනය විය.


ශ්‍රී ලංකාවට ද මෙම කලා ශිල්පයන්හි මෙලෙසම සධාරණය විය.මෙලෙස විකාශනය වු පරම්පරික කලා ශිල්ප අතරින් පිත්තල කර්මාන්තය ආශ්‍රිත ශ්‍රී ලාංකේය ජන සංස්කෘතික පසුබිම පිළිබඳව උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරෙන් අධ්‍යනය කිරීමකි.


ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග පිළිබඳ විමසිලිමත් දෑසින් බැලුවහොත්, අනුරාධපුර යුගයේ සිට කන්ද උඩරට මහනුවර යුගය දක්වා ම විවිධ මුලාශ්‍ර වලින් කරන ලද කැටයම් කලාව අනුක්‍රමයෙන් විකාශනය වෙමින් පැවති බවට සාධක දැකගත හැකි වේ. ශ්‍රී ලංකාවේ මුල්ම ජන පදිකයන් ලෙස සැලකෙන ආර්යයන් තුළ පවා යකඩ භාවිතය පිළිබඳ දැනුම පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර වල දැක්වෙන "අයෝ", "අයස්" යන පද සාක්ෂි දරයි. ආර්යයන් කෘෂි කර්මාන්තයට හුරු වීමත් සමඟ නඟුල, කැත්ත, උදැල්ල ආදී උපකරණ සකස් කර ගත් බව දක්නට ලැබේ. බෞද්ධාගම මෙරටට හදුන්වා දීමෙන් පසුව එනම් ක්‍රි.පූ.06 වන ශත වර්ෂයට පසුව සංඝමිත්තා තෙරණිය සමඟ භාරතයෙන් පැමිණි ශිල්ප ශ්‍රේණි දහ අටක කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්ත විමත් සමඟ යකඩ හා වානේ සම්බන්ධ කර්මාන්ත ද ශීඝ්‍ර ලෙස වර්ධනය විය. එමෙන්ම එම කර්මාන්තයෙහි නිර්මාණාත්මක බව හා සූක්‍ෂ්ම බව ද ක්‍රමයෙන් වර්ධනය විය. ඒ අනුව යකඩ උණු කිරීම හා වානේ සකස් කිරීම අතීත කාලයේ සිටම ශ්‍රී ලංකාවේ සිදු කළ බවට සාධක ස්ථාන රැසක සිදු කළ පුරා විද්‍යාත්මක කැනීම් වලින් සොයා ගෙන තිබේ. අභයගිරි කැනීම් වලදී ලෝකුරු කම්හලක නටඹුන් හමුවී ඇති අතර ලෝකඩ වලින් කරන ලද කාසි ද හමුවී ඇත. එසේම බලංගොඩ නුදුරු ගම්වල සහ නුවර දිස්ත්‍රීක්කයේ ද යකඩ හා වානේ කර්මාන්තය පදනම් වූ භාණ්ඩ නිෂ්පාදනය සිදු කර ඇත. කොත්මලේ යකඩ සඳහා ද කිරිවවුල (උඩුනුවර) පිත්තල භාණ්ඩ සඳහා ද ප්‍රසිද්ධියට පත්ව තිබීමෙන් ඒ බව සනාථ වේ. ප්‍රමාණාත්මකව ගත් කළ මෙම භාණ්ඩ නිෂ්පාදනය ඉතා අල්ප වුව ද ඒවා තත්ත්වයෙන් උසස් ඉතා විශිෂ්ට නිර්මාණයන් විය.



Tuesday, 18 June 2019

පීරීගෙන සුළං....ගල් අඟුරු ගිනිමලින්
තඹ මැටිය පන්නරය එයි ගොරක රත අරන්

අළුදුමේ ගිණි අරං කුළුගෙඩියෙ හඬ අරන්
හීන්මැටි කිරිමැටිය ලෝහ දිය උණුකරන්

හිරමනේ දත් තරං ජීවිතය ඉස්තරම්
කවුරුවත් අහල නෑ ලං වෙලා මේතරම්

පීරක දත් මත්තේ ජීවිතය තනි පැත්තේ
කම්මල ඉස්මත්තේ පිපෙයි මල් අකමැත්තේ

පිත්තල තෝරා ගත්තේ, දන්නේ නෑ මම සත්තේ
අච්චු වල පණ ඇත්තේ, නැත්තේ ඇති මේ  මත්තේ

S.ප්‍රබෝධනී