Saturday 22 June 2019

ශ්‍රී ලංකාවේ පාරම්පරික කලාශිල්පයන්හි පසුබිම 01


     අතීත වංශ කතාවලින්  හා පුරාවිද්‍යාත්මක මුලාශ්‍ර මගින් මෙන්ම දේශාටන වාර්තා වලින්ද අතීත ශ්‍රී ලංකාවේ කලාශිල්පයන්හි පසුබිම අනාවරණය කර ගැනීමට පාදක කරගත හැකි මුලාශ්‍රයන්ය.
අනුරාධපුරයෙහි පිහිටුවන ලද මහා බෝධිය පිළිබඳ ඉතිහාසය, පාලි හා සිංහල වංශකතා කිහිපයකම ඇතුළත් වෙයි. ඒ අතුරින් දීපවංශය හා මහාවංශය යන පාලි වංශ කථා ද්වයයෙහි මේ ඉතිහාසය දක්වා ඇත්තේ සංක්ෂේපයෙනි. පාලි මහා බෝධි වංශය හා සිංහල බෝධි වංශය යන ග්‍රන්ථ ද්වයය මේ ඉතිහාසය වඩාත් සවිස්තර ලෙස ඉදිරිපත් කරයි.

මේ මුලාශ්‍රයන් අතුරින්ද පැරණිතම මුලාශ්‍රය වශයෙන් ගැනෙන්නේ ක්‍රි.වයෙන් සතරවන සියවසෙහි රචිත යැයි සැලකෙන දීපවංශයයි. මහාවංශය පස්වන සියවසට ද සිංහල බෝධි වංශය දාහතරවන සියවසටද අයත් සේ සැලකේ.
දැනට අප අතට පත්ව ඇති පැරණිතම මුලාශ්‍රය වන දීපවංශය රචනාකොට ඇත්තේ මහා බෝධි ප්‍රතිෂ්ඨාපනයෙන් ශත වර්ෂ හතකට පමණ පසුව ය. එබැවින් එහි ඇතුළත්වන  සමහර තොරතුරු සියවස් හතක පමණ කාලයක් තිස්සේ මුඛපරම්පරාගතව ආ ජනශ්‍රැති මුල් කොට ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එසේම දීපවංශයට පෙරාතු අවදියෙහි ලියන ලද එහෙත් අද අප අතට පත්වී නැති යම්  යම් වංශ කථා ද දීපවංශයට මුලාශ්‍රය වුවා නිසැකය.

මේ වංශ කථා හැම එකකම පාහේ සඳහන් වන  එක් කරුණක් නම් මහාබෝධිය ආරක්ෂා කිරීම පිණිස එක්තරා පිරිවරක්ද බෝධිවෘක්ෂය සමගම ලක්දිවට එවන ලද බවයි. මේ පිරිවර පිළිබඳ කෙටි සඳහනක් දීපවංශ හා මහාවංශ යන දෙක්හි ද දීර්ඝ විස්තරයක් බෝධි වංශ  හා ගැටපදවල ද එයි.
මහාවංශය ඉංග්‍රීසියට නගන විල්හෙල්ම් ගයිගර් නම් ජර්මන් ජාතික පඬිවරයා “කුලානි”  යන පදය විවරණය කොට ඇත්තේ “පුද්ගලයන් හෝ තැනැත්තන්” යනුවෙනි. “කුල යන්නෙන් මෙහිදී අදහස් කරන්නේ කිසියම් පන්තියකට හෝ ශිල්පී කුලයකට අයත් පුද්ගලයාය.” යනුවෙන් ඔහු පවසයි.  අටළොස් කුලය පහත පරිදි වේ. එහි පාලි නාමයද ඊට අනුරුප සිංහල නාමය ද බෝධි වංශ ගැටපදකරුවා  මෙසේ දක්වා ඇත.
1. තරච්ච ,සරස්
2. කුලිංග,කිලිඟු
3. කප්ප ,කපු
4. බලත්ථ, බලත්
5. පෙසකාර,පෙහෙර
6. කුම්භකාර, කුඹල්
7. මාලාකාර, මල්කරු
8. ගන්ධකාර,ඔසදවටු
9. සිබ්බකාර,තුනා
10. සුද , භක්තකාර
11. කම්මාර,කඹුරු
12. ලෝහකාර, ලෝකරු
13. සුවන්නකාර, තරගල්
14. වඩ්ඪකී,වඩු
15. චිත්තාකාර, සිත්කරු
16. ආතොවජ්ජක, ගඳවි
17. ඡත්තකාර, සත්කරු
18. උය්‍යානපාල, උයන්පලු.
මෙම අටළොස් කුලයෙහි 12 වැනි කුලයෙන් පෙන්වාදෙන්නේ ලෝහකාර හෙවත් ලෝකුරු කුලයයි. ලෝහකාර හෙවත් ලෝකුරු කුලයට පැවරුනේ මහා බෝධිය උදෙසා පැවැත්වෙන “මහබෝ මගුලට” වූවමනා රන් රිදී කැටපත් ආදිය සකස් කොට දීමේ කාරියයි. ඔවුන්ගේ කුල දෙටුවා හට “ලෝහකාර නායක” හෙවත් “ලෝකුරු නා” තනතුර ප්‍රධානය කරන ලදී.

No comments:

Post a Comment